යම් රෝගියෙකුගේරුධිරය කැටි ගැසීම අවම කල යුතු අවස්ථා වල මෙම ඖෂධය භාවිතා කරනවා.
බොහෝ විට මේ අයගේ රුධිර කැටි ගැසීම සාමාන්‍ය නමුත් යම් හදවතේ ඇති රෝගී තත්වයක් නිසා මෙම ඖෂධය භාවිතා කරලා එය අඩු කිරීමට සිදු වෙනවා.

උදාහරණ:

  1. වෝෆරින් සෝඩියම් කියන්නේ මොන වගේ ඖෂධයක්ද ?

    වෝෆරින් සෝඩියම් වලින් කරන්නේ රුධිරය කැටි ගැසීම අඩු කරන එක.

  2. වෝෆරින් සෝඩියම් භාවිතා කරන අවස්ථා මොනවාද?

    1. හෘදයේ ඇති ප්‍රශ්නයක් නිසා හෘදය තුල අනවශ්‍ය ලෙස ලේ එකතු වෙන හෝ අනවශ්‍ය ලෙස සෙමින් ගමන් කරන අවස්ථා
      හෘද ස්පන්දන රිද්මය සම්බන්ධ රෝග, කපාට සිහින් වීම, හෘදයේ ක්‍රියාකාරිත්වය අඩු වීම වැනි කාරණා නිසා හෘදය තුල ලේ ගමන ප්‍රමාද වීම තුලින් ලේ කැටි ඇති වීමේ අවදානමක් තිබෙනවා.
    2. හෘදයේ ශල්‍යකර්ම සඳහා කෘතීම කපාට භාවිතා කර ඇති අවස්ථා
      සමහර හෘද ශල්‍යකර්ම වලදී හෘදයේ ඇති සාමාන්‍ය කපාට ඉවත් කර එම ස්ථානයට කෘතීම කපාටයක් යොදන අවස්ථා තියෙනවා. මෙම කෘතීම කපාට මත ලේ කැටි ඇති වීමේ ප්‍රවනතාවය වැඩියි.
    3. ශරීරයේ ශිරා වල ඇති වන ලේ කැටි හෘදය හරහා ගමන් කර පෙනහල්ලේ පුප්පුෂීය ධමනි වල තැන්පත් වන අවස්ථා
      මෙහිදී මෙම ලේ කැටි නැවත ඇති වීම වැලක්වීමටත්, ඇති වූ ලේ කැටිය වර්ධනය වීම වැලක්වීමටත් මෙම ඖෂධය භාවිතා කරනවා
  3. වෝෆරින් වැඩිපුර ගත්තොත් ලේ කැටි ගැසීම අඩුවීම නිසා ලේ ගැලීමේ තත්වයක් ඇති වෙන්න පුලුවන්ද?

    ඔව්. මෙම ඖෂධය නියමිත මාත්‍රාවට වඩා ගත්තොත් ලේ කැටි ගැසීම අඩුවීම නිසා ලේ ගැලීමේ තත්වයක් ඇති වෙන්න පුලුවන්. ඒ නිසා මෙම ඖෂධය නියමිත මාත්‍රාව ගැනීම සහ එමගින් ඇතිවන ලේ කැටි ගැසීම අඩු වීම නිසි පරිදි අධීක්ෂණය කිරීම ඉතාම වැදගත්.

  4. කොහොමද අධීක්ෂණය කරන්නේ? වෝෆරින් සෝඩියම් භාවිතා කරන කෙනෙකු ගේ රුධිරය කැටිගැසී ම අඩුකරන ප්‍රමාණය දැනගන්නේ කොහොමද?

    එය INR රුධිර පරිකෂණය මගින් දැනගත ගන්න පුළුවන්. සාමාන්‍ය පුද්ගලයකු ගේ INR අගය 1 ට ආසන්න අගයක් ගනී. වෝෆරින් සෝඩියම් භාවිතයෙන් මෙම අගය වැඩි කල හැක. අගය වැඩි වන විට ලේ කැටි ගැසීමේ ප්‍රවනතාවය අඩු වන අතර ලේ ගැලීමෙ ප්‍රවණතාව වැඩිවේ. සාමාන්‍යයෙන් INR අගය 2ත් 3ත් අතර පවත්වා ගැනීම සුදුසුයි. පවත්වා ගතයුතු නියම INR අගය ඔබට වෝෆරින් සෝඩියම් නිර්දේශ කරන වෛද්‍ය වරයා විසින් දැනුම් දෙනු ඇත.

  5. INR අගය රඳා පවතින්නේ වෝෆරින් සෝඩියම් මාත්‍රාව මත පමණයි ද?

    නැහැ. අප ගන්නා ආහාර හා ඖෂධ එහි ක්‍රියකාරිත්වයට බලපෑම ඇති කරන්න පුළුවන්. විටමින් K අධික ආහාර වලිනි ලේ කැටි ගැසීම කාර්යක්ෂම කරන නිසා මේ ආහාර වැඩිපුර ගැනීමෙන් වෝෆරින් වල ක්‍රියාකාරිත්වය අඩු වෙන්න පුළුවන්. තද කොළ පැහැති පලා වර්ග සහ පීකදු වැනි ආහාර වල විටමින් K අධික ප්‍රමාණයක් තියෙන නිසා මෙම ආහාර වැඩිපුර ගැනීම තුලින් වෝෆරින් වල ක්‍රියාකාරිත්වය අඩු වෙන්න පුළුවන්.

  6. වෝෆරින් සෝඩියම් වල ගුණය සහ INR අගය නිසි ලෙස පවත්වා ගන්න කළයුත්තේ කුමක්ද?

    මේ සඳහා ක්‍රම කිහිපයක් පිළිපැදිය යුතුය.
    වෝෆරින් පෙත්ත දිනපතා එකම වෙලාවක ගන්න – පස්වරු 6 එයට හොද වෙලාවකි.
    වෝෆරින් පෙත්ත ගැනීමට පැය භාගයකට පෙර සහ පැය දෙකක් පසුවට ආහාර අනුභව කිරීමෙන් වලකින්න.
    පලා වර්ග පළතුරු හා එළවලු දිනපතා එකම ප්‍රමාණ අනුභව කරනන්න. මේ විටමින් K අධික ආහාර එකවර විශාල ප්‍රමාණයක් අනුභව කිරීමෙන් වලකින්න.
    INR අගය නිර්දේශිත අගයේ රඳවා ගැනීම සඳහා වෛද්‍ය වරයකු විසින් නිර්දේශ කල පරිදි පමණක් වෝෆරින් මාත්‍රාව වෙනස් කරන්න.

  7. INR පරිකෂණය නිතර සිදු කල යුතුද?

    ඔබට නිර්දේශ කල INR අගය ලඟා කර ගන්නා තෙක් බෙහෙත් අඩු වැඩි කරමින් INR පරීක්ෂණය නිතර සිදු කරන්න ඕනේ. මේ සඳහා සාමාන්‍යයෙන් සතියක් දෙකක් ගත වේවි. ඉන් පසු මසකට වරක් INR පරීක්ෂණය කිරීම සුදුසුයි.

  8. වෝෆරින් සමග රුධිරය තුනීවීම පමණට වඩා වැඩි විය හැකිද?

    ඔවි. එවිට හමේ ලේ පැල්ලම්, නාසයෙන් ලේ ගැලීම මුත්‍රා සහ මලපහ හෝ වමනය සමග රුධිරය පිටවීම සිදුවිය හැක. මෙවැනි රෝග ලක්ෂණ පවතීනම් වහාම වෛද්‍යවරයකු හමුවිය යුතුය. ඔහු විසින් වෝෆරින් මාත්‍රාව අඩු කර රුධිර වහනය නැවත්වීමට අවශ්‍ය ප්‍රතිකාර කරනු ඇති.

  9. INR වාර්ථාව ඉතා ඉහල අගයක් ගනී නම් කළ යුත්තේ කුමක්ද?

    එවිටද වෝෆරින් මාත්‍රාව අඩු කල යුතුයි. මෙය වෛද්‍ය වරයකු විසින් නිර්දේශ කල පරිදි පමණක් සිදු කල යුතුයි.