1. හෘදය වස්තුවේ සිදුරක් යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද?

    හෘදය වස්තුවේ සිදුරු ගැන කියන්න කලින් අපි බලමු මොකක්ද හෘදය වස්තුවේ ආකෘතිය කියල. සාමාන්‍ය මිනිස් හෘදයේ කුටීර 4ක් තියෙනවා. මෙයින් උඩ කුටීර හඳුන්වන්නේ කර්ණිකා කියල. පහල තියන කුටීර හඳුන්වන කෝෂිකා කියල. ඇඟෙන් එන අපිරිසිදු රුධිරය උත්තර මහා ශිරාව සහ අධර මහා ශිරාව හරහා දකුණු කර්ණිකාවට එකතු වෙනවා. මේ ලේ ඉන් පසු දකුණු කෝෂිකාවට ගලා ඇවිත් එයින් පුප්පුශිය මහා ධමනියට පොම්ප කරනවා. මේ ලේ පෙනහල්ලෙන් පිරිසිදු වෙලා පුප්පුශිය ශිරා හරහා වම් කර්ණිකාවට ගලා එනවා. මේ පිරිසිදු ලේ ඉන් පසු වම් කෝෂිකාවට ගලා ඇවිත් එයින් සංස්ථානික මහා ධමනියට පොම්ප කරනවා. මේ පිරිසිදු ලේ ඇඟ පුරා ගමන් කරලා ආපසු උත්තර මහා ශිරාව සහ ආධර මහා ශිරාව හරහා හෘධය වෙත ගලා එනවා.

    හෘදය වස්තුවේ පිරිසිදු සහ අපිරිසිදු ලේ මිශ්‍ර වීම වලක්වන්න කර්ණිකා දෙක අතර බිත්තියක් තියෙනවා. කෝෂිකා දෙක අතරත් බිත්තියක් තියෙනවා. මේ බිත්තිවල ඇති වන සිදුරු තමයි හෘදය වස්තුවේ ඇති සිදුරු කියල කියන්නේ. ඊට අමතරව සංස්ථානික මහා ධමනිය සහ පුප්පුශීය මහා ධමනිය අතරත් සිදුරු තියෙන්න පුළුවන්.

    සාමාන්‍ය ජනවහරයේ හෘදය වස්තුවේ තියෙන හැම ආබාධයක් ම හඳුන්වන්න පාවිච්චි කරන්නේ හදවතේ සිදුරක් කියල. නමුත් ඇත්තටම හදවතේ උපතින්ම ඇතිවන ප්‍රශ්න සිදුරකට විතරක් සීමා වෙන්නේ නැහැ.
    මීට අමතරව හෘදය වස්තුවේ නහර සිහින් වීමක්, නහර වෙනත් ස්ථානයකට සම්බන්ධ වීමක්, කපාට වල ඇතිවන සිහින් වීම් හෝ කපාට පිහිටා නොතිබීම වැනි නොයෙක් අබාධ තියෙන්න පුළුවන්. මෙවැනි අසාමාන්‍යතා කිහිපයක් එකට පිහිටීම තුළින් වඩා සංකීර්ණ ප්‍රශ්ණයක් විදියට පිහිටලා තියෙන්නත් පුළුවන්.

1. උත්තර මහා ශිරාව
2. අධර මහා ශිරාව
3. දකුණු කර්ණිකාව
4. ත්‍රිතුන්ඩ කපාටය
5. දකුණු කෝෂිකාව
6. දකුණු අඩසඳ කපාටය
7. පුප්පුශීය මහා ධමනිය
8. වම් සහ දකුණු පුප්පුශීය ධමනි
9. වම් සහ දකුණු පුප්පුශීය ශිරා
10. වම් කර්ණිකාව
11. ද්වී තුන්ඩ කපාටය
12. වම් කෝෂිකාව
13. වම් අඩසඳ කපාටය
14. සංස්ථානික මහා ධමනිය

  1. උත්පත්තියේ සිට හෘදයාබාධ ඇතිවිය හැකියි නේද?

    ඔව්. මෙවැනි හෘදයාබාධ හඳුන්වන්නේ සංජානනීය හෘදයාබාධ කියලා. ගර්භණී සමයේදී හෘදය හැදෙන්නේ ඉතාමත් ම සංකීර්ණ ක්‍රියාවලියක් තුළින්. මේ ක්‍රියාවලියේදී යම්කිසි ප්‍රශ්නයක් ඇති වුණොත් හෘද වස්තුවේ එම ප්‍රදේශය හරියට හැදෙන්නේ නැහැ. මේ ප්‍රශ්න තමයි ඉපදුනාට පස්සේ සන්ජනනීය හෘදයාබාධ කියලා හඳුන්වන්නේ.

  2. හදවතේ ආබාධයක් ඇති වූ විට දක්නට ලැබෙන රෝග ලක්ෂණ මොනවාද?

    හදවතේ සිදුරක් ඇති බව දැනගන්න රෝග ලක්ෂණ කිහිපයක් තියෙනවා. දරුවෙකු නිල් පැහැ ගැන්වෙනවා නම් ඒක තමයි හොඳම ලක්ෂණය හෘදය වස්තුවේ ප්‍රශ්නයක් තියෙනවා කියලා සැක හිතන්න. දරුවෙක් පමණට වඩා වේගයෙන් හුස්ම ගන්නවා නම් ඒකත් හෘදය වස්තුවේ ආබාධයක් කියලා සැක හිතන්න ඕනේ ලක්ෂණයක්. ඒ වගේම හෘද වස්තුව ගැහෙන වාර ගණන එම වයසේ ළමයෙකුට සරිලන ප්‍රමාණයට වඩා වැඩිනම්, හිසට සහ උඩුකය ප්‍රදේශයට අධික ලෙස දහඩිය දමනවා නම්, කිරි උරා ගැනීමේ අපහසුතාවක් තියෙනවනම්, කිරි බොනකොට නිතර නිතර කිරි බීම නතර කරනව නම්, නිතර නිව්මෝනියාව වැනි ශ්වසන ආබාධ ඇතිවෙනවා නම් හදවතේ ආබාධයක් තියෙනවද කියලා හිතන්න සිද්ධ වෙනවා.

  3. හෘදය වස්තුවේ ආබාධයක් තිබෙන බව නිශ්චිත වශයෙන් දැන ගන්නේ කෙසේද?

    හෘදය වස්තුවේ ආබාධයක් තියෙනවා කියලා හරියටම දැනගන්න පුළුවන් හොදම ක්‍රමය තමයි ඉකෝකාඩියෝග්‍රපි (Echocardiography) පරීක්ෂණය. මේ පරීක්ෂණය තුළින් හෘදය වස්තුවේ ආබාධ වලින් 99% ක්ම හොයාගන්න පුළුවන්.

  4. උපතින්ම ඇතිවන හදවත් ආබාධ ඇති වීමට බලපාන හේතු මොනවාද?

    උපතින්ම ඇතිවන බොහෝ හදවත් ආබාධ ඇති වෙන්න නිශ්චිත හේතුවක් නැහැ. ගර්භණී සමයේදී හෘදය වස්තුව හැදෙන විට ඇතිවන අඩුපාඩු නිසා තමයි හෘද වස්තුවේ ආබාධයක් ඇතිව දරුවන් ඉපදෙන්නේ. නමුත් කලාතුරකින් ගර්භණී සමයේදී අනවශ්‍ය ලෙස බෙහෙත් ගැනීම, පාලනය නොකළ දියවැඩියාව, අධික ලෙස මත්පැන් සහ දුම්වැටි වලට ඇබ්බැහි වීම, වෛරස් ආසාදන ඇතිවීම වැනි කරුණු බලපාන්න පුළුවන්. ඒ වගේම Down syndrome වැනි ආබාධ සහිත දරුවන්ට උපතින්ම ඇතිවන හදවත් ආබාධ ඇතිවීමේ ප්‍රවණතාවය ඉතාමත්ම වැඩියි.

  5. ළදරු වියේ දී හටගන්නා හදවතේ ආබාධ මගින් අනාගතයේ ඇතිවිය හැකි අතුරු ආබාධ මොනවාද?

    මෙම උපතින්ම ඇතිවන හෘදයාබාධ කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්.
    පළමුවැනි කොටස තමයි ඉතාමත්ම සුළු ආබාධ. මෙවැනි ආබාධ වලට කිසිම ප්‍රතිකාරයක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒවගෙන් ජීවිතයට කිසිම බලපෑමක් නැති නිසා.
    දෙවෙනි කොටස තමයි හෘදය වස්තුවේ ආබාධයට යම්කිසි ප්‍රතිකාරයක් කිරීම අවශ්‍ය වන කොටස. මෙම කොටසට අයිති දරුවන්ට යම් දිනක ‍ශල්‍යකර්ම මාර්ගයෙන් හෝ කැතීටර්කරණ මාර්ගයෙන් යම්කිසි ප්‍රතිකාරයක් කිරීම අවශ්‍ය වෙනවා. මෙලෙස ප්‍රතිකාර අවශ්‍ය දරුවන්ට අවශ්‍ය ප්‍රතිකාර අවශ්‍ය වේලාවට නොකළොත් දීර්ඝ කාලීන බලපෑමක් ඇති වෙන්න පුළුවන්. මෙයින් ඇතිවන මූලික ප්‍රශ්නය තමයි පෙනහලුවල රුධිර පීඩනය ඉහළ යාම. මේ රුධිර පීඩනය යම් පමණකට වඩා වැඩි වුවහොත් එම දරුවා ඉන්පසු ශල්‍යකර්මයක් කළ නොහැකි දරුවෙක් බවට පත්වෙනවා.
    තුන්වෙනි කොටස තමයි ඉතාමත්ම සංකීර්ණ හෘදයාබාධ. මෙම කොටසට අයත් වන්නේ ඉතාමත්ම සුළු රෝගීන් ප්‍රමාණයක් පමණයි. මෙවැනි ඉතා සංකීර්ණ හෘදයාබාධ ප්‍රතිකාර කිරීමට අපහසු රෝගාබාධ ගණයට තමයි අයිති වෙන්නේ. අපට තියෙන පහසුකම් අනුව මෙවැනි හෘදයාබාධ සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට උත්සාහ කරන්නේ නැහැ. ඔවුන්ගේ හෘදයාබාධයේ බරපතලකම නිසා ඔවුන්ට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීම අපහසු වෙනවා.
    කලට වේලාවට නිසි ප්‍රතිකාර කරන්නේ නම් උපතින් ඇතිවන හෘදයාබාධ නිසා දීර්ඝ කාලීන අතුරු ප්‍රතිපල ඇති වන අවස්ථා ඉතාමත්ම අඩුයි. ප්‍රතිකාරයකට ලක් කළ පසුව උනත් මෙවන් දරුවන් දීර්ඝකාලීනව සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ පරික්ෂාවට ලක්කිරීම ඉතාම වැදගත් වෙනවා.

  6. හෘදයාබාධ ඇති දරුවෙකුට සැත්කමක් සිදු නොකළ විට සිදුවන්නේ කුමක්ද?

    සැත්කමක් කල යුතු යැයි නිගමනය කළ දරුවෙකු සැත්කම සිදු නොකර සිටීම තුළින් නොයෙකුත් ප්‍රශ්නවලට මුහුණදීමට සිදු වෙන්න පුළුවන්. හෘදය වස්තුවේ ලොකු සිදුරක් ඇති දරුවෙකු සැත්කමකට ලක් නොකර සිටියොත් ඔහුගේ පෙනහල්ලට යන ලේ ගමන වැඩිවීම තුළින් පෙනහැල්ලේ පීඩනය වැඩි වී යම් කලක දී ඔහු සැත්කමක් කිරීමට නොහැකි තත්ත්වයට පත්වෙන්න පුළුවන්. අධික ලෙස නිල් පැහැ ගැන්වෙන දරුවෙකු සඳහා අවශ්‍ය සැත්කමකට යොමු නොකර සිටියහොත් ඔහු අකල් මරණයට පවා පත්විය හැකියි.
    දරුවාගේ හෘදය වස්තුවේ ඇති ආබාධය අනුව සුදුසුකම්ලත් ලත් වෛද්‍යවරයකු විසින් අවශ්‍ය සැත්කම පිළිබඳව නිර්ණය කිරීමත් සිදු කෙරෙනවා. දෙමව්පියන්ගේ වගකීම තමයි එම සැත්කම නියම වේලාවට ඉටු කරන බවට වග බලා ගැනීම.

  7. හෘදයාබාධ ඇති දරුවෙකුට සැත්කමකින් නොකර සිටීමෙන් කොපමණ කාලයක් ජීවත්වීමට පුලුවන්ද?

    මේ ගැන හරියටම කියන්න අමාරුයි. ජීවත් වෙන නොවෙන කාලය තීරණය වෙන්නේ ඒ ඒ දරුවාගේ ඇති හදවතේ සිදුරේ ප්‍රමාණය හෝ එහි සංකීර්ණත්වය අනුවයි. සමහර ඉතා සංකීර්ණ ප්‍රශ්න සහිත දරුවන් ඉතා කලාතුරකින් දිගු කාලයක් ජීවත් වෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ සැත්කම් නොකරන හැම දරුවෙකුටම සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා නෙමේ.

  8. ශ්‍රී ලංකාවේ වර්තමාන ජනගහනයෙන් හදවතේ ආබාධ ඇති දරුවන් කොපමණ සිටිනවාද?

    ලංකාවේ අවුරුද්දකට දරුවන් තුන් ලක්ෂ හැට පන්දාහක් පමණ ඉපදෙනවා. ඒ කියන්නේ දළ වශයෙන් දවසකට දරුවන් දාහක් ඉපදෙනවා. මේ ඉපදෙන දරුවන් දාහක් ගත්තොත් එයින් හය දෙනකුට අට දෙනකුට පමණ උපතින්ම ඇතිවන හෘදයාබාධයක් තියනවා. ඒ කියන්නේ ලංකාවේ වසරකට ළමයින් 2100 – 2900ක් අතර ප්‍රමාණයක් උපතින්ම ඇතිවන හෘදයාබාධ සහිතව ඉපදෙනවා.

  9. උපතින්ම ඇතිවන හෘදයාබාධ ඇතිවීම වලක්වාගැනීමට ගතහැකි ක්‍රමෝපායන් මොනවාද?

    ගර්භණී සමයේ දී අනවශ්‍ය බෙහෙත් නොගෙන සිටීම, දියවැඩියාව හොඳින් පාලනය කිරීම, වෛරස් ආසාදන වලට ලක් වීමෙන් වැළකී සිටීම, මත්ද්‍රව්‍ය සහ දුම් පානයෙන් වැළකී සිටීම වැනි දේවල් තුළින් උපතින්ම ඇතිවන හෘදයාබාධ ඇතිවීමේ ප්‍රවණතාවය යම්තාක් දුරකට අඩු කරගන්න පුළුවන්. Down syndrome වැනි තත්ව ඇති වීම වළක්වා ගන්න පුළුවන් හොදම ක්‍රමය තමයි වඩා වයසට යන්න කලින් දරුවන් සාදා සම්පූර්ණ කර ගැනීම. මොකද වයසින් වැඩි මව්වරුන්ට Down syndrome ඇති දරුවන් ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි නිසා.

  10. උපතින්ම ඇතිවන හෘදයාබාධ පිළිබඳව ඇති මිත්‍යා මත මොනවාද?

    ගොඩක් අය හිතනවා ළමයා හොදටම සෙල්ලම් කරලා දුවලා පැනලා ඉන්නවා නං එහෙම ළමයෙකුට කවදාවත් හෘදය වස්තුවේ ආබාධයක් තියෙන්න බැහැයි කියලා. මේක ඉතාමත්ම වැරදි ආකල්පයක්. හෘද වස්තුවේ ආබාධ සහිත දරුවන් වැඩිදෙනෙක් හොදට දුවල පැනල ඉන්න අය තමයි. හෘදයාබාධයක් තියන දරුවෙකුට කලාතුරකින් තමයි දුවලා පැනලා ඇවිදින්න බැරි තත්වයට පත් වෙන්නේ. ඒ එක්කම කියන්න ඕන හෘද වස්තුවේ ආබාධයක් තිබුනයි කියලා එහෙම දරුවන්ට දුවලා පැනලා සෙල්ලම් කරලා ඉන්න එපා කියලා අපි කියන්නෙත් නෑ. දරුවාගේ ආබාධය අනුව ඔහුට කළ හැකි ව්‍යායාම සහ ක්‍රීඩා ගැන වෛද්‍යවරයකුට උපදෙස් දෙන්න පුළුවන්. තවත් මිථ්‍යා මතයක් තමයි හෘදය වස්තුවේ ඇති සිදුරු සහ වෙනත් ආබාධ බෙහෙත් දීලා හොඳ කරන්න පුළුවන් කියලා සමහරු හිතනවා. මෙවැනි දරුවන්ට බෙහෙත් දෙන්නේ ඔවුන්ගේ රෝග ලක්ෂණ පාලනය කිරීමට පමණයි. එහෙම නැතුව බෙහෙත් වලින් සිදුරු වහන්න බැහැ. සිදුරු වැසීම සඳහා අනිවාර්යයෙන්ම සැත්කමක් හෝ කැතීටර්කරණ මාර්ගයෙන් කරන ප්‍රතිකාර ක්‍රමයක් කරන්න සිදුවෙනවා. නමුත් සමහර සිදුරු ඉබේම වැහෙන්න පුළුවන්. බෙහෙත් බිව්වත් නැතත් ඒ සිදුරු ඉබේම වැහෙනවා.

  11. හෘදය වස්තුවේ ආබාධ තියෙන දරුවන් සහිත දෙමව්පියන් අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතු කරුණු මොනවාද?

    මතක තබාගතයුතු මූලිකම දේ තමයි වෛද්‍ය උපදෙස් නිසි පරිදි පිළිපැදීම. ඊට අමතරව බෙහෙත් නියමිත වේලාවට ගැනීම, නියමිත දිනයට අදාල වෛද්‍යවරයාට පෙන්වීම, ශල්‍යකර්ම සඳහා යොමු කර ඇත්නම් නියමිත කාලයට ශල්‍යකර්මය සිදුකර ගැනීම කියන කාරනා දෙමව්පියන් ඉතා හොඳින් මතක තබාගත යුතුයි. දරුවන් දෙදෙනෙකුගේ ඇති හෘදයාබාධ එකම උනත්, එක එක දරුවා දරුවාගේ ශරීරය ඊට ප්‍රතික්‍රියා දක්වන ආකාරය වෙනස්. ඒ නිසා එක දරුවෙකුට ලබාදෙන උපදෙස් තවත් දරුවකුට හරියන්නේ නැහැ.

  12. හෘදය වස්තුවේ උපතින්ම ඇතිවන ආබාධයක් තිබීම තුළින් ශරීරයේ අනිත් ඉන්ද්‍රියයන් වලට බලපෑමක් ඇති වෙනවාද?

    මෙහිදී වැඩියෙන්ම බලපාන ඉන්ද්‍රියය තමයි පෙනහැල්ල. හෘද වස්තුවේ සිදුරු නිසා පෙණහැල්ලට ලේ යාම වැඩිවන අවස්ථාවලදී පෙනහැල්ලේ රුධිර පීඩනය වැඩි වෙන්න පුළුවන්. පෙණහැල්ලට ලේ යාම අඩු වෙන අවස්ථා වලදී දරුවා තදබල ලෙස නිල් පැහැ ගැන්වීම නිසා අනිකුත් ඉන්ද්‍රියයන් වලට ඔක්සිජන් අවශ්‍ය ප්‍රමාණයට නොලැබීම වෙන්න පුළුවන්. සමහර හෘදය වස්තුවේ ආබාධ නිසා මොළයේ සැරව ගෙඩි ඇතිවීම වැනි තත්ත්වයන් පවා ඇතිවෙන්න පුළුවන්. මෙම තත්වයන් මුලින් හඳුනාගෙන ප්‍රතිකාර කිරීම තුළින් සංකූලතා ඇතිවීම වළක්වා ගන්න පුළුවන්.

  13. හෘද වස්තුවේ උපතින් ඇතිවන හෘදයාබාධ සඳහා දරුවෙකු ගන්නා ආහාරපාන බලපානවද?

    කොහෙත් ම නැහැ. මොකද ආහාර ගන්න පටන් ගන්නකොට ඒ දරුවාගේ හෘදය වස්තුවේ ආබාධය ඇති වී ඉවරයි. ගර්භණී සමයේදී මව ගන්නා ආහාර වලිනුත් හෘදය වස්තුවට ලොකු බලපෑමක් ඇති වන්නේ නැහැ.

  14. මෙවැනි දරුවන් රැකගැනීම සඳහා සමාජයට දෙන්න පුළුවන් පණිවිඩය කුමක්ද?

    උපතින්ම ඇතිවන හෘදයාබාධ සහිත දරුවන්ට ප්‍රතිකාර කිරීමේ පහසුකම් වැඩිකිරීම සඳහා ළමා රෝහලේ Little Hearts කියලා ව්‍යාපෘතියක් පටන් අරන් තියෙනවා. මේක සංවිධානය කරන්නේ ළමා රෝග විශේෂඥ වරුන්ගේ සංගමය. ලංකාවේ ඉන්න සෑම කෙනෙක්ම එකා වගේ දායක වෙනවා නම් මේ ව්‍යාපෘතිය ඉක්මනට ඉවර කරල ලංකාවෙ ඉන්න සෑම හෘදයාබාධ සහිත දරුවෙකුටම අවශ්‍ය වේලාවට අවශ්‍ය ප්‍රතිකාර සිදු කිරීමේ පහසුකම් වැඩි දියුණු කරන්න පුළුවන්. ඉතින් මට ඉල්ලන්න තියෙන එකම දේ තමයි මේ ව්‍යාපෘතියට ඔබගේ, ඔබ පවුලේ සහ ඔබ ආයතනයේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න කියලා. ඔබගේ මුල්‍යමය පරිත්‍යාග ලංකා බැංකුවේ 79738633 දරන ගිණුමට බැර කර මේ සඳහා දායකත්වය ලබා දෙන්න පුළුවන්. ඔබට වැඩි විස්තර අවශ්‍ය නම් www.littlehearts.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් හෝ දුරකථන අංක 0716441122 අංකයට කථා කිරීමෙන් දැනගන්න පුළුවන්.

වෛද්‍ය දුමින්ද සමරසිංහ
ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍ය